Thursday, October 22, 2009

තිස්සනායගම් : සිරගත කළ පන්හිඳ ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලබයි

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට ලක් වූ ප‍්‍රථම ලාංකික මාධ්‍යවේදියා වන ජේ.එස්. තිස්සනායගම් වෙත ධෛර්යවන්ත සහ ආචාරධාර්මික පුවත්පත් කලාව වෙනුවෙන් පිරිනැමෙන ‘පීටර් මැක්ලර් ත්‍යාගය’ පිළිගැන්වීම 2009 ඔක්තෝම්බර් 2 දා සිදුවේ. මේ ත්‍යාගය පිරිනමනු ලබන්නේ ග්ලෝබල් මීඩියා ෆෝරම් සංවිධානය සහ දේශසීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු ශාඛාව විසිනි.

සම්මානය පිරිනැමීම වොෂින්ටන්හි නැෂනල් ප්‍රෙස් ක්ලබ් හිදී උත්සවාකාරයෙන් සිදුවන අතර මෙම උළෙලේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ වොෂින්ටන් ෆස්ට් පුවත්පතේ විධායක කර්තෘ මාකස් බෲච්ලි විසිනි.

2008 මාර්තු 7 වන දින පොලිසියේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් තිස්සනායගම් අත් අඩංගුවට ගන්නා ලදි. අනතුරුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරනු ලැබ බරපතල වැඩ සහිතව වසර 20ක සිරදඬුවමක් ලැබීය. දේශසීමා රහිත මාධ්‍යවේදීන් පවසන අන්දමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ මාධ්‍යවේදියෙකුට ත‍්‍රස්ත විරෝධී නීතියක ප‍්‍රතිපාදන යටතේ චෝදනා එල්ල කරන ලද ප‍්‍රථම අවස්ථාව මෙය වේ. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ ත‍්‍රස්තවාදය ඉලක්ක කොටගෙන පනවා ඇති ත‍්‍රස්ත විරෝධී නීති මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට එරෙහිව යොදාගෙන ඇති බවයි.

තිස්සනායගම් පිළිබඳ ව ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් යොමුව තිබුණද දෛවයේ සරදමකට මෙන් ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන මාධ්‍ය නිදහස ගැන කතා කරන විට තහනම් වචනය තිස්සනායගම් බවට පත් කරගෙන සිටිති.

පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය නිදහස පිළිබඳ සමුළුවේදී පවා තිස්සනායගම් පිළිබඳ අවධාරණය පුදුම සහගත ලෙස ස්වයං වාරණයකට ලක් කර තිබුණු අතර තිස්සනායගම් සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව අවධාරණය කළේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නායක ධර්මසිරි ලංකාපේලි පමණකි.
කෙසේ වුවද තිස්සනායගම් සිහිකර ඔක්තෝම්බර් 07 වෙනිදා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී රැස්වීමක් පැවැත්වීමට මේ දිනවල කටයුතු සුදානම් වෙමින් පවතී.