Friday, July 31, 2009

අමනයන් නැති ලෝකය

අනේ මන්දා නාලනී ට සහ අනිල් සූරියරත්න ට අනුව අසූ අට, අසූ නමය කාලයේ ලංකාවේ විසූ දේශප්‍රේමියාගේ ඉරණම ඛේදජනකය. ඔහු යදමින් බැඳ, විලංගු ලා රැගෙන ගොස් ඉදිකටු ඇන, ඇඟිලි තලා, දෙතිස් වධයට පමණුවනු ලැබේ. මේ දඬුවම් ලබන්නේ අළුත් ලොවක් ගැන සිතීමේ වරදට ය. මේ මොහොතේ මෙරට අධිකරණය ද, නීතිය ද, විනිසුරන් ද නිහඬ ය.

වධ බන්ධනයට පමුණුවනු ලැබ සිරගෙයි මරා දමනු ලැබු මේ තරුණයා එතැනට පත්වුයේ රට ගිනි ගෙන ඇති බව දැක එ ගිනි නිවන මඟ සොයන්නට යාමෙනි. ඔහු එසේ කරන්නේ ඉහළ පාසල්වල අමනයන් පන්දු කෙළින අතරතුරය.විසි අවුරුද්දකට පසු දෙදාස් අට, දෙදාස් නමය කාලය වන විට ඉහත කී සිරගෙයි මළ පුතුගේ මෑණියන්ගේ ප‍්‍රාර්ථනය ඉටුවන බව පෙනෙයි. ඇගේ පුතු වැනි කෝටි ගණන් දේශපේ‍්‍රමීන් නැවත පොළොවෙහි පහළ වී ඇති සෙයකි. නමුත්, එදා සිටි ගිනි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන් ද, පන්දු කෙළින ඉහළ පාසල්වල අමනයන් ද එකෙක් වත් නැත.

එදා දේශපේ‍්‍රමියා වනාහි අළුත් ලොවක් ගැන සිතන්නෙකි; සමාජවාදියෙකි; ක‍්‍රම විරෝධියෙකි. එහෙයින් පවතින ස්ථාපිත සමාජයෙන් ඔහුට ලැබෙන්නේ වධ හිංසා සහ ත‍්‍රස්තවාදියා යන නාමකරණයයි. එයට ප‍්‍රතිපක්ෂ ව අද දේශපේ‍්‍රමියා යනු පවතින ලෝකය කෙරෙහි ලෝභයෙන් එය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පවතින ක‍්‍රමයට පක්ෂපාතියෙකි; නොම්මර එකේ පරිභෝජනවාදියෙකි.

අමනයන් නැති ලෝකයක ද්විත්ව චරිත නිරූපණයක යෙදෙමින් තම චරිතය ද අමනයාගේ චරිතය ද එකවර රඟපෑමට වර්තමාන දේශපේ‍්‍රමියාට සිදු වී තිබේ. දහවල ජාතික කොඩිය ඔසවා ගෙන යුද ජයග‍්‍රහණ සමරමින් පෙළපාලි යන දේශපේ‍්‍රමියා ද, සවසට ජාතික කොඩිය ඉණ වටා ඔතාගෙන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙනුවෙන් ඔල්වරසන් දෙන අමනයා ද යන දෙදෙනාම ඔහුය.මන්දා නාලිනිත්,අනිල් සූරියරත්න ත් ඔහු ළඟ සිටිමින් ඔහුට ‘ආයුබෝ වේවා’යි කියනු ඇත.

Back to Home

Friday, July 24, 2009

OUR HERO (powered by God)

පුරාණ ග‍්‍රීක වීර කාව්‍යක් වන ඉලියඞ් තුළින් විචිත‍්‍රවත් ලෙස චිත‍්‍රණය වන්නේ, ග‍්‍රීකයන් විසින් ට්‍රෝයි පුරය වටලා කරන ලද යුද්ධය පිළිබඳවය. ඉලියඞ් රචනා කළේ හෝමර් විසිනි. මෙම කතාව ඬේවිඞ් කරුණාරත්න විසින් ‘රණබිම’ යනුවෙන් සිංහල බසට පරිවර්තනය කර ඇත.
ට්‍රෝජන් පාර්ශ්වයේ වීරයා සෙන්පති හෙක්ටර් ය. ඔහු ප‍්‍රියම් මහ රජුගේ වැඩිමහල් පුත‍්‍රයාය. ග‍්‍රීක පාර්ශ්වයේ වීරයා ඇකිලස්ය. ඔහු අගමෙනොන් මහරජු යටතේ සටන් කළත් මහ රජු කෙරෙහි ගරුත්වයක් ඇකිලස් තුළ නැත. නමුත් යුද්ධය ජයග‍්‍රහණය සඳහා ඇකිලස් අත්‍යවශය සේම ඔහුගේ උඩඟු බව ඉවසීමට අගමෙනොන් මහ රජුට සිදුවේ.
කෙසේ වුවත් මේ වීරයන් ‘රණබිමේ’ දක්වන දස්කම් විස්කම් ඔවුන්ගේ තනි හපන්කමක් නිසා සිදුවෙන්නක් නොවන බව හෝමර් දක්වයි. දේව සභාවේ සිටින ෆියුස් සහ ඇපලෝ වැනි දෙවිවරුන් ද ඇතීනා වැනි දෙවඟනන්ද තිරය පිටුපසින් සිට මේ එක් එක් වීරයන්ට පිටුබලය සපයයි. ඔවුන්ගේ ජයග‍්‍රහණය හෝ පරාජය සඳහා අවශ්‍ය පියවර සියුම් ලෙස ගනී. එහෙම බලන විට රණබිම වනාහි ඇසට පෙනෙන මිනිසුන් අතර යුද්ධයක් පමණක් නොවේ. ඇසට නොපෙනෙන දෙවියන් අතරද කෙරෙන යුද්ධයේදී මිනිස් වීරයාගේ ශක්තිය, ධෛර්යය යන දෙක හා අධිෂ්ඨානය යුද්ධය සඳහා වැදගත්ය. එහෙත් එපමණකින්ම යුද්ධයේ බල තුලනය වෙනස් කිරීමට දෙවිවරු ඉඩ නොතබති. එහෙම වුණොත් දෙවියන් අවලංගු වී යාමට ඉඩ තිබෙන බැවිනි.
ලංකාව ‘රණබිමක් ’ ලෙස සැලකුවොත් කලින් කලට මෙම ‘රණබිමේ ’ නා නා ප‍්‍රකාරවූ වීරවරයන් සහ වීරවරියන් පහල වේ. හුදී ජනයා වන අප කට ඇරගෙන බලා සිටින්නේ ඔවුන්ගේ වීර ක‍්‍රියා දෙසය. ටික කලකදී පැරණි වීරයන් කරළියෙන් බැස ගොස් අලූත් වීරයන්ගේ ආගමනය සිදු වේ. අපට හෝමර් කෙනෙක් නැති නිසා මේ එක් එක් වීරයා හෝ වීරවරිය පසුපස සිට ඔවුන්ට බලය සපයන දෙවිදේවතාවන් කවුරුන්දැයි තේරුම් ගැනීම අපහසු බැවින් අපට හිතෙන්නේ මේ වීරයන් තමන්ගේ තනි හයියෙන් මෙසේ වැඩ පෙන්වන බවයි.
කෙසේ වුවද මෙහිදී මෙම දෙවි-මිනිස් සම්බන්ධය යාන්ත‍්‍රික ලෙස තේරුම් ගැනීම වැරදිය. ඕනෑම කංජයියෙකු යොදාගෙන වැඩ පෙන්වීමට දෙවියන්ට පවා නොහැකිය. ඒ සඳහා කිසියම් විශේෂී දක්ෂතා ඇති මිනිසෙකු උවමනා වේ. දෙවියන් පවා ආරූඪ වන්නේ එවන් මිනිසුන්ටය. දෙවියන් ආරූඪ වූ පසු මිනිස් වීරයා පෙන්වන වැඩ නිසා සෙසු මිනිසුන්ගේ ඇස් ගිණි කණ වැටෙන්නේ මිනිස් බලයට දේව බලය එක් වූ විට වැඩ කෝටියක් පෙන්විය හැකි බැවිනි. නමුත් දෙවියන් විසින් පසු කාලීනව වීරයන් අතහැර දමනු ලැබෙන්නේ දෙවියන්ට අවශ්‍ය කටයුත්ත ඉටු කිරීමට මිනිසා අසමත් වූ විටය. එලෙස අවාසනාවන්ත ලෙස අතහැර දමන ලද වීරයන්ට සිදුවන්නේ දෛවයේ සරදමට ලක්වීමටය.
එක් එක් වීරයන් පසුපස එක් එක් කාලයට කරකැවෙමින් බලය සපයන දෙවි දේවතාවුන් ගැන තේරුම් ගැනීම අප සියළු දෙනාගේම ශරීර සෞඛ්‍යයට යහපත් වීමට ඉඩ ඇත.

Back to home