Friday, July 31, 2009

අමනයන් නැති ලෝකය

අනේ මන්දා නාලනී ට සහ අනිල් සූරියරත්න ට අනුව අසූ අට, අසූ නමය කාලයේ ලංකාවේ විසූ දේශප්‍රේමියාගේ ඉරණම ඛේදජනකය. ඔහු යදමින් බැඳ, විලංගු ලා රැගෙන ගොස් ඉදිකටු ඇන, ඇඟිලි තලා, දෙතිස් වධයට පමණුවනු ලැබේ. මේ දඬුවම් ලබන්නේ අළුත් ලොවක් ගැන සිතීමේ වරදට ය. මේ මොහොතේ මෙරට අධිකරණය ද, නීතිය ද, විනිසුරන් ද නිහඬ ය.

වධ බන්ධනයට පමුණුවනු ලැබ සිරගෙයි මරා දමනු ලැබු මේ තරුණයා එතැනට පත්වුයේ රට ගිනි ගෙන ඇති බව දැක එ ගිනි නිවන මඟ සොයන්නට යාමෙනි. ඔහු එසේ කරන්නේ ඉහළ පාසල්වල අමනයන් පන්දු කෙළින අතරතුරය.විසි අවුරුද්දකට පසු දෙදාස් අට, දෙදාස් නමය කාලය වන විට ඉහත කී සිරගෙයි මළ පුතුගේ මෑණියන්ගේ ප‍්‍රාර්ථනය ඉටුවන බව පෙනෙයි. ඇගේ පුතු වැනි කෝටි ගණන් දේශපේ‍්‍රමීන් නැවත පොළොවෙහි පහළ වී ඇති සෙයකි. නමුත්, එදා සිටි ගිනි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන් ද, පන්දු කෙළින ඉහළ පාසල්වල අමනයන් ද එකෙක් වත් නැත.

එදා දේශපේ‍්‍රමියා වනාහි අළුත් ලොවක් ගැන සිතන්නෙකි; සමාජවාදියෙකි; ක‍්‍රම විරෝධියෙකි. එහෙයින් පවතින ස්ථාපිත සමාජයෙන් ඔහුට ලැබෙන්නේ වධ හිංසා සහ ත‍්‍රස්තවාදියා යන නාමකරණයයි. එයට ප‍්‍රතිපක්ෂ ව අද දේශපේ‍්‍රමියා යනු පවතින ලෝකය කෙරෙහි ලෝභයෙන් එය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පවතින ක‍්‍රමයට පක්ෂපාතියෙකි; නොම්මර එකේ පරිභෝජනවාදියෙකි.

අමනයන් නැති ලෝකයක ද්විත්ව චරිත නිරූපණයක යෙදෙමින් තම චරිතය ද අමනයාගේ චරිතය ද එකවර රඟපෑමට වර්තමාන දේශපේ‍්‍රමියාට සිදු වී තිබේ. දහවල ජාතික කොඩිය ඔසවා ගෙන යුද ජයග‍්‍රහණ සමරමින් පෙළපාලි යන දේශපේ‍්‍රමියා ද, සවසට ජාතික කොඩිය ඉණ වටා ඔතාගෙන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙනුවෙන් ඔල්වරසන් දෙන අමනයා ද යන දෙදෙනාම ඔහුය.මන්දා නාලිනිත්,අනිල් සූරියරත්න ත් ඔහු ළඟ සිටිමින් ඔහුට ‘ආයුබෝ වේවා’යි කියනු ඇත.

Back to Home

No comments:

Post a Comment