Thursday, August 13, 2009

සීනුව හැඬවෙන්නේ ඔබ වෙනුවෙනි

පොලිසියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ (මෙහි නම අපරාධ කොට්ඨාශය බව මතක තබා ගන්න) ප‍්‍රධාන පොලිස් නිලධාරියෙකුගේ පුත‍්‍රයා විසින් තමා සමඟ එකට මාලඹේ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය ලැබූ තවත් ශිෂ්‍යයෙකු පැහැරගෙන ගොස් වද හිංසා කිරීම පිළිබඳ සිද්ධිය මේ දිනවල සමාජයේ විරෝධයට ලක් වී තිබේ. ප‍්‍රභාකරන්ට විරුද්ධව ප‍්‍රබල කතු වැකි ලියූ නිර්භීත පුවත්පත් කර්තෘවරු තම අසිපත් වැනි පෑන් තුඩු මේ සිද්ධියේදී පොලිසියට විරුද්ධව ඔසවන්නට පටන්ගෙන ඇත.

මේ කර්තෘවරුන්ද සෙසු ජනමාධ්‍යවේදීන්ද ඇතුළු පොදු ජනයා පසුගිය කාලය මුළුල්ලේ පුන පුනා ප‍්‍රකාශ කරන ලද්දේ සමාජ ප‍්‍රශ්න විසඳීම සඳහා හමුදාවට සහ පොලිසියට ඉඩ දිය යුතු බවය. ත‍්‍රස්තවාදය, පාතාලය, මත් උවදුර, ගණිකා වෘත්තිය, නිල් චිත‍්‍රපට ආදී මෙකී නොකී උවදුරු වනාහි සමාජයේ ඇති ප‍්‍රශ්නවල ප‍්‍රකාශමාන වීම බව ඔවුහු හොඳින්ම දනිති. නමුත් ඒ බව විශ්වාස නොකරන ඔවුන් ප‍්‍රකාශ කළේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා මර්දනය කිරීමට ත‍්‍රස්තවාදීන් (පවුල් පිටින්) සමූල ඝාතනය කළ යුතු බවය; සංවිධානාත්මක අපරාධ මර්දනයට පාතාලයන් මරා දැමිය යුතු බවයි; මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමට කුඩු කාරයන්ට වැඬේ දිය යුතු බවයි.


මේ කටයුත්ත සාර්ථකව කරන්නට නම් විධායකයේ හස්තයක් වන පොලිසියේ හා හමුදාවේ රණවිරුවන් ට බාධා රහිතව නිදහසේ ක‍්‍රියාත්මක වන්නට ඉඩදිය යුතුය. විධායකය මෙම කටයුත්ත කරන විට නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුව හෝ යුක්තිය පසිඳලන ආයතනය වන අධිකරණය හෝ එම ක‍්‍රියාවලියට මැදිහත් වී බාධා නොකළ යුතුය. කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හෝ අධිකරණ විනිශ්චයකාරවරයෙකු හෝ එම ක‍්‍රියාවලියට මැදිහත් වන්නට, ප‍්‍රශ්න කරන්නට හෝ විවේචනය කරන්නට ගියහොත් ඔහු දේශද්‍රෝහියෙකි. පසුගිය කාලය තුළ සමාජයද මාධ්‍යවේදීන්ද ජප කරමින් සිටි මන්තරය එයයි.


එසේ නම් ඉහත සඳහන් ශිෂ්‍යයා පිළිබඳ කාරණයේදී පමණක් ජනමාධ්‍ය පොලිසියට ගරහන්නේ ඇයි ? අන් සියළු අවස්ථාවලදී විධායකයේ, එනම් හමුදාවේ හා පොලිසියේ හස්තයෙහි නොවරදින සුළු භාවය ගැන සහමුලින් ම විශ්වාස කළ ඔවුන් මේ සිද්ධියේ දී පමණක් පොලිසියේ වචනය විශ්වාස නොකරන්නේ ඇයි? පොලිසිය විසින් අතපය කඩන්නේ හෝ මරා දමන්නේ ඔබ අප වැනි සාමාන්‍ය මිනිසුන් නොව සමාජ විරෝධීන්ය. මෙම තර්කය අනුව පොලිසියේ පීඩාවට පත්වන තැනැත්තා එනයින් ම සමාජ විරෝධියෙකු බවට පත් වේ. පොලිසිය වෙනුවෙන් මාලඹේ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉදිරිපිට දී උද්ඝෝෂණය කළ පිකට්කරුවන් කීවේ එයයි. එනම් එම ශිෂ්‍යයා පාතාලයෙකු බවයි. සමාජය කළ යුත්තේ එය පිළිගෙන සන්සුන් වීමය.
Back to Home............

No comments:

Post a Comment